මේ කාලයේ නිපදවෙන සුහුරු දුරකථන (smart phones) බොහෝ ප්‍රමාණයක ප්‍රධාන කැමරාවට සහ සෙල්ෆි කැමරාවට අමතරව තවත් කැමරා එකක් හෝ කිහිපයක් තිබෙන බව දකින්න පුළුවන්. මීට හේතුව වන්නේ විවිධ දුරින් ඇති වස්තුවල පැහැදිලි රූප ග්‍රහණය කරගත හැකි එක් කැමරාවක සම්පූර්ණ දිග ජංගම දුරකථනයකට සුදුසු ඝනකමට වඩා වැඩි වන නිසා එය වළක්වා ගැනීමට ගන්නා උපක්‍රමයක් ලෙස කැමරා කීපයක් භාවිතා කිරීමයි.
යම් ස්ථිර දුරකින් ඇති වස්තුවක් පැහැදිලිව ග්‍රහණය කරගත හැකි කැමරාවක් කුඩාවට නිපදවිය හැකි වුවත් විවිධ දුරින් ඇති වස්තු ග්‍රහණය කර ගැනීමට හැකි එක් කැමරාවක් නිපදවනවා නම් එහි කාච වැඩි දුරක් එහා මෙහා කිරීමට සිදුවන නිසා කැමරාවේ දිග වැඩි වෙනවා. මේ නිසා විවිධ ස්ථිර දුරවල් කිහිපයකට සුදුසු ආකාරයෙන් සැකසූ කුඩා කැමරා කිහිපයක් ජංගම දුරකථයක ඝනකමට සුදුසු ප්‍රමාණයෙන් සකසා ඒ ඒ දුරින් ඇති වස්තුවල ඡායාරූප ගැනීමේදී ඒ ඒ කැමරාව භාවිතා කර පැහැදිලි ඡායාරූප ලබා ගන්න පුළුවන්. කැමරා අතර හුවමාරු වීම සාමාන්‍යයෙන් දුරකථනය භාවිතා කර පුද්ගලයා විසින් අමුතුවෙන් කරන්න උවමනා නැහැ. පෙනෙන රූපයේ විශාලනය (zoom) අඩු වැඩි කරන විට කැමරා යෙදුම (camera app) ඉබේම සුදුසු කැමරාව තෝරා ගන්නවා.
මීට අමතරව සමහර සුහුරු දුරකථනවල කළුසුදු කැමරාවක් (monochrome camera) සහ/හෝ ගැඹුර ග්‍රහණය කරගත හැකි සංවේදකයක් ද (depth sensor) දකින්න පුළුවන්.
ඡායාරූපයක් ලබා ගැනීමේදී සමහර අවස්ථාවලදී එක් කැමරාවක් පමණක් භාවිතා කෙරෙන මුත් කැමරා කිහිපයකින් ලැබෙන දත්ත විමසා බලා අවසන් ඡායාරූපයක් ලබා දීම ද සමහර අවස්ථාවලදී සිදුකෙරෙනවා.
සෙල්ෆි කැමරාවට අමතරව දුරකථනයක භාවිතා කෙරෙන කැමරා වර්ග කිහිපයක් පිළිබඳ මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.
ප්‍රධාන කැමරාව
දුරකථනයේ ඇති ප්‍රධාන කැමරාවෙන් තමයි සාමාන්‍ය දුරින් ඇති වස්තුවල ඡායාරූප ලබා ගන්නේ. සාමාන්‍යයෙන් මෙය පුළුල් ප්‍රදේශයක් ග්‍රහණය කර ගත හැකි කැමරාවක් (wide angle camera).
අධි පුළුල් කැමරාව (Ultrawide angle camera)
කැමරාවෙන් ග්‍රහණය කරගත යුතු ප්‍රදේශයේ පළල වැඩි නම් මෙම කැමරාව භාවිතා වෙනවා. උදාහරණ නම් බොහෝ දෙනා ඉන්නා සමූහ ඡායාරූපයක් ලබා ගැනීම සහ යම් විශාල භූමි ප්‍රදේශයක් පෙනෙන සේ ඡායාරූපයක් ලබා ගැනීම.
දුරකථනයේ අධි පුළුල් කැමරාවක් ඇත්නම් ඡායාරූපයක් ගන්නා අවස්ථාවේ රූපයේ විශාලනය (zoom) අඩු කරගෙන යන විට යම් අවස්ථාවකින් පසු ඉබේම එම අධි පුළුල් කැමරාව භාවිතයට ගැනෙනවා.
ටෙලිෆොටෝ කැමරාව (Telephoto camera)
ප්‍රධාන කැමරාවෙන් ප්‍රමාණවත් තරම් විශාලනය (zoom) කර ඡායාරූපයක් ලබා ගැනීමට සුදුසු දුරකට වඩා වැඩි දුරකින් ඇති වස්තුවක ඡායාරූපයක් ලබා ගැනීමේදී රූපය වඩාත් විශාලනය කරන්නට සිදුවෙනවා. මේ ආකාරයට වඩාත් වැඩි දුරකින් ඇති වස්තු ඡායාරූපයට නැඟීමේදී ටෙලිෆොටෝ කැමරාව උපකාරී වෙනවා.
පෙරිස්කෝප් ටෙලිෆොටෝ කැමරාව (Periscope telephoto camera)
ටෙලිෆොටෝ කැමරාවෙන් හැකි පමණට වඩා රූපය විශාලනය කොට ග්‍රහණය කර ගැනීමට උවමනා වඩාත් දුරින් ඇති වස්තුවක ඡායාරූපයක් ලබා ගැනීමට අවශ්‍ය වූ විටෙක පෙරිස්කෝප් වර්ගයේ කැමරාව භාවිතා කෙරෙනවා.
වැඩි දුරකින් ඇති වස්තු පැහැදිලිව ග්‍රහණය කරගැනීමට නම් සම්පූර්ණ කැමරාවේ දිග වැඩි වන්න උවමනයි. පෙරිස්කෝප් වර්ගයේ කැමරාවල ප්‍රිස්මයක් භාවිතා කර ඒ මතට වැටෙන ආලෝකය අංශක 90 කින් කරකවා එම කැරකවූ දිශාවට කැමරාවේ කාච පද්ධතිය සහ සංවේදකය පෙළගසා කැමරාවේ ඝනකම අඩු කර ගැනෙනවා. සැම්සං (Samsung) ආයතනයේ පහත දැක්වෙන වීඩියෝවෙන් පෙරිස්කෝප් කැමරාවක අභ්‍යන්තර සැකසුම සහ ක්‍රියාකාරිත්වය කෙසේ දැයි විස්තර කෙරෙනවා:
ළඟටම නොගොස් යම් දුරක සිට කෘමියෙකු වැනි කුඩා වස්තුවක විශාල කරන ලද ඡායාරූපයක් ලබාගැනීමට ද පෙරිස්කෝප් කැමරාවක් භාවිතා කරන්න පුළුවන්.
මැක්‍රෝ කැමරාව (Macro camera)
කෘමියෙකුගේ හෝ ශාක පත්‍රයක වැනි වස්තුවක ඡායාරූපයක් එම වස්තුවට ඉතාම ආසන්නයේ සිට ලබා ගැනීමට අවශ්‍ය වූ විටෙක මැක්‍රෝ කැමරාව භාවිතා කෙරෙනවා.
කළුසුදු කැමරාව (Monochrome camera)
වර්ණ කැමරා විවිධ ආකාරයන්ගෙන් නිපදවෙනවා. ජංගම දුරකථනවල භාවිතා කෙරෙන වර්ගයේ වර්ණ කැමරාවක් සහ කළුසුදු කැමරාවක් සැළකීමේදී කළුසුදු කැමරාවෙන් ලබා ගත හැකි ඡායාරූපයේ පැහැදිලි බව වැඩියි. මීට ප්‍රධාන හේතුව නම් වර්ණ කැමරාවක රතු, කොළ සහ නිල් පාට ආලෝකය පෙරණ වර්ණ පෙරහන් පද්ධතියක් (Color Filter Array - CFA) භාවිතා වීම නිසා කැමරාවේ ආලෝක සංවේදක මතට වැටෙන ආලෝකය අඩු වීම. එම අඩුවීම නිසා වර්ණ ඡායාරූපයේ පැහැදිලි බව අඩුවෙනවා. කළුසුදු කැමරාවක එසේ වන්නේ නැහැ.
සමහර ජංගම දුරකථනවල කළුසුදු කැමරාවක් භාවිතා කරන්නේත් ඉහත විස්තර කළ පැහැදිලි බව වැඩි වීම නිසයි. දුරකථනයෙන් වර්ණ ඡායාරූපයක් ලබා ගැනීමේදී එහි ප්‍රධාන කැමරාවෙන් වර්ණවත් ඡායාරූපයක් ගැනෙනවා යැයි සිතමු. එවිටම කළුසුදු කැමරාවෙන් වඩාත් පැහැදිලි කළුසුදු ඡායාරූපයක් ද ගැනෙනවා. දුරකථනයේ ඇති කැමරා මෘදුකාංගය මෙම ඡායාරූප දෙකටම අදාළ විස්තර සුදුසු පරිදි එකට මිශ්‍ර කර වඩාත් පැහැදිලි වර්ණ ඡායාරූපයක් සකසනවා. මේ ආකාරයට ඡායාරූපවල පැහැදිලි බව වැඩි කරගැනීම සඳහා සමහර දුරකථනවල වර්ණ කැමරාවලට අමතරව කළුසුදු කැමරාවක් ද භාවිතා කෙරෙනවා.
ගැඹුර ග්‍රහණය කරන සංවේදකය (Depth sensor)
මිනිසුන්ට නම් ඇස් දෙකක් ඇති නිසා පෙනෙන රූපයක ළගින් ඇති දෑ සහ දුරින් ඇති දෑ වෙන් කොට හඳුනා ගන්න පුළුවන්. ඡායාරූප ගැනීමේදී සමහර වෙලාවට මේ ආකාරයේ දුර පිළිබඳ දත්ත ඡායාරූප ගන්නා උපාංගයට උවමනා වෙනවා. උදාහරණයකට ළඟින් ඇති යමක් පැහැදිලිවත් පසුබිමේ දුරින් ඇති යමක් බොඳ වූ ලෙසත් ඡායාරූපයකට නැඟීමට උවමනා වන්න පුළුවන්. එවන් අවස්ථාවන්හිදී කැමරාවක් දුර පිළිබඳ දත්ත ග්‍රහණය කරගෙන එබඳු ඡායාරූපයක් සකසන්නේ කෙසේ ද? මේ සඳහා තාක්ෂණික වශයෙන් භාවිතා කළ හැකි උපක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් නම් එක් කැමරාවක් වෙනුවට එකිනෙකට මදක් දුරින් තැබූ කැමරා දෙකක් භාවිතා කිරීම. යම් තැනැත්තෙක් ඇස් දෙකින් බලනවාක් මෙන් දුර පිළිබඳ දත්ත මේ ක්‍රමයෙන් ග්‍රහණය කරගන්නට පුළුවන්. මෘදුකාංග මගින් කැමරා දෙකෙන්ම ග්‍රහණය කරන රූපවලට අදාළ දත්ත විමසා බලා ළඟ සහ දුර පිළිබඳ තීරණය කර දුරින් ඇති වස්තුවලට අදාළ රූපයේ කොටස් බොඳ කරන්න පුළුවන්. මේ ආකාරයට ඡායාරූප ගැනීමේදී රූපයේ දැක්වෙන වස්තුවලට ඇති දුර පිළිබඳ දත්ත ග්‍රහණය කර ගැනීමට උපකාරී කර ගැනීම පිණිස සමහර දුරකථනවල ගැඹුර ග්‍රහණය කරන කැමරාවක් (depth camera) වෙනමම භාවිතා කෙරෙනවා. තවත් සමහර දුරකථනවල ගැඹුර ග්‍රහණය කරන කැමරාවක් වෙනමම ඇත්තේ නැහැ. පවතින යම් අතිරේක කැමරාවකින්ම එම ක්‍රියාව කරගන්නවා. තවත් සමහර දුරකථනවල ගැඹුර ග්‍රහණය කර ගැනීම සඳහා වෙනත් ආකාරයන්ගෙන් ක්‍රියාකරන සංවේදක භාවිතා කරනවා.