ජංගම දුරකථනයක් කෙතරම් කාලයක් භාවිතා කළ හැකි ද?

Submitted by admin on

ජංගම දුරකථනයක් සාමාන්‍යයෙන් අවුරුදු තුනක පමණ කාලයක් භාවිතා කළ හැකි බව බලාපොරොත්තු වන්න පුළුවන්. එසේ වෙතත් සමහර දුරකථන ඊට වඩා බෙහෙවින්ම වැඩි කාලයක් භාවිතා කිරීමට හැකි වගේම සමහර විටෙක අවුරුදු තුනක් වත් භාවිතා කිරීමට නොහැකි වන අවස්ථා ද තිබෙනවා.

ජංගම දුරකථනයක ආයු කාලය කරුණු කිහිපයක් මත රදා පවතිනවා. ඒවා නම් දුරකථනය කුමන වර්ගයේ දුරකථනයක් ද යන වග, දුරකථනයේ නිෂ්පාදන ගුණාත්මක භාවය, දුරකථනය භාවිතා කිරීමේ පුරුදු, දුරකථනයේ අමතර කොටස් ලබා ගැනීමට ඇති හැකියාව, දුරකථනයේ මෘදුකාංග යාවත්කාලීන කිරීමට ඇති හැකියාව සහ තාක්ෂණ දියුණුව යන කරුණුයි.

දුරකථනය කුමන වර්ගයේ දුරකථනයක් ද යන වග එහි ආයු කාලයට බලපාන්නේ කෙසේ ද? විශේෂාංග දුරකථන (feature phones) සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩයි, බරින් අඩුයි, ඒවායේ තිරය ද කුඩයි. සුහුරු දුරකථන (smart phones) සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලයි, බරින් වැඩියි, තිරය ද විශාලයි. මේ වෙනස්කම් නිසා සුහුරු දුරකථන බිම වැටීමක් වැනි අනතුරකට පත්වුවහොත් විශේෂාංග දුරකථනවලට වඩා පහසුවෙන් ඒවාට හානි වන්න පුළුවන්. මේ ආකාරයට දුරකථන වර්ගය ගැන පමණක් සැලකුවොත් විශේෂාංග දුරකථනවල ආයු කාලය සුහුරු දුරකථනවලට වඩා වැඩි වීම අපේක්ෂා කරන්න පුළුවන්.

දුරකථනයේ නිෂ්පාදන ගුණාත්මක භාවය එහි ආයු කාලයට බලපාන්නේ කෙසේ ද? සමහර දුරකථන නිෂ්පාදකයින් උසස් තත්වයේ උපාංග භාවිතා කොට, උසස් නිර්මාණ ක්‍රම භාවිතා කොට සහ වෙළදපොළට නිකුත් කිරීමට පෙර බොහෝ පරික්ෂාවන් කර උසස් නිමාවකින් යුත් දුරකථන වෙළඳපොළට නිකුත් කරනවා. උසස් තත්වයේ උපාංග භාවිතා කිරීමත් උසස් නිර්මාණකරන උත්සාහයත්, පරීක්ෂාවනුත් නිසා ඒවා ඉක්මනින් අක්‍රීය වීමේ හැකියාව අඩුයි. එබැවින් එවන් දුරකථනවලට වැඩි ආයු කාලයක් බලාපොරොත්තු වන්න පුළුවන්. සමහර දුරකථන නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන එතරම් උසස් ආකාරයට සිදුවන්නේ නැහැ. එවන් දුරකථනවල ආයු කාලය අඩු වීම බලාපොරොත්තු වන්න පුළුවන්.

දුරකථනය භාවිතා කිරීමේ පුරුදු එහි ආයු කාලයට බලපාන්නේ කෙසේ ද? දුරකථනයට තිර ආරක්ෂකයක් (screen protector) භාවිතා කරනවා ද, දුරකථනයට ආවරණයක් (case) භාවිතා කරනවාද, වැස්සෙන් හෝ වෙනත් ආකාරයකට ජලයෙන් හානි සිදු නොවන පරිදි එය භාවිතා කරනවා ද ආදී කරුණු දුරකථනයකට හානි නොවී දිගු කාලයක් භාවිතා කිරීමට හේතු වෙනවා. ඊට අමතරව දුරකථනයේ බැටරිය ගැන විශේෂයෙන් සලකා බලන්න වෙනවා. බැටරියක ආයු කාලය එය කී වාරයක් ආරෝපණය (charge) සහ හිස් කිරීම (discharge) සිදුකරනවා ද යන්න මත රඳා පවතිනවා. දිනක් තුළ වැඩි කාලයක් දුරකථනය භාවිතා කළොත් ඉක්මනින් එය නැවත ආරෝපණය කරන්න වෙනවා. ඒ නිසා වැඩිපුර දුරකථනය භාවිතා කිරීම ඉක්මනින් බැටරියේ ආයු කාලය අවසන් වීමට හේතු වෙනවා. දුරකථනයේ තිරය වැඩි දීප්තියකින් (brightness) භාවිතා කිරීමත්, වැඩි යෙදුම් (apps) ප්‍රමාණයක් භාවිතා කිරීමත් බැටරිය ඉක්මනින් හිස් වීමට බලපානවා. මේ නිසා අනවශ්‍ය දීප්තියකින් තොරව සහ අනවශ්‍ය යෙදුම් අක්‍රීය කර හෝ ඉවත් කර දැමීම මඟින් බැටරියේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. තව ද බැටරිය ආරෝපණය කරන්නට සිදු වූ විට එය 100% ආරෝපණය නොකර 85% පමණ ආරෝපණය කිරීමත් හැකි නම් ඉක්මන් ආරෝපණ ක්‍රමය (fast charging) භාවිතා නොකොට මන්දගාමී ආරෝපණ ක්‍රමය (slow charging) භාවිතා කිරීමත් බැටරියේ ආයු කාලය වැඩි කර ගැනීමට හේතු වෙනවා. මේ දැක්වූ බැටරියේ ආයු කාලය වැඩි කර ගත හැකි ක්‍රම හැම විටම භාවිතා කිරීම ප්‍රායෝගික නොවන්න පුළුවන්. උදාහරණයකට සමහර අය නිතර භාවිතා කරන දුරකථන යෙදුම් (apps) ප්‍රමාණය වැඩි වන්න පුළුවන්. එවන් අයට ඒවා අක්‍රීය කිරීම ප්‍රායෝගික නැහැ. කෙසේ වෙතත් මේ ආකාරයට දුරකථනය භාවිතා කිරීමේ පුරුදු එහි ආයු කාලයට බලපානවා.

දුරකථනයේ අමතර කොටස් ලබා ගැනීමට ඇති හැකියාව එහි ආයු කාලයට කෙසේ බලපානවා ද? කෙතරම් උසස් ලෙස නිපදවූවත් කවර නිෂ්පාදනයක් වුවත් යම් අවස්ථාවක දී අක්‍රීය වී යයි නම්, එහි කොටස් විනාශ වී යයි නම් එය ස්වාභාවිකයි. එය දුරකථනවලටත් පොදුයි. එවන් විටෙකදී අමතර කොටස් ලබාගෙන ඒවා ආධාරයෙන් දුරකථනය යථා තත්වයට පත්කරගන්න උත්සාහ කරන්න පුළුවන්. සමහර දුරකථනවල අමතර කොටස් වෙළදපොළේ බහුලව මිල දී ගන්න තිබෙනවා. නමුත් සමහර දුරකථනවල අමතර කොටස් හොයා ගන්නත් බැරිවෙන අවස්ථා තිබෙනවා. තවත් කරුණක් නම් නිෂ්‍පාදකයින් විසින් පරණ දුරකථන මාදිළිවලට අමතර කොටස් නිපදවීම ද කල් යෑමේදී නවත්වා දමනවා. මේ හේතුව නිසා සමහර අවස්ථාවලදී පරණ දුරකථනයක බැටරිය මාරු කර ගැනීම වැනි සාමාන්‍යයෙන් පහසුවෙන් කර ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාවක් වත් කර ගැනීමට නොහැකි වෙනවා. මේ හේතු නිසාත් දුරකථනයක් භාවිතා කළ හැකි කාලය සීමා වෙනවා.

දුරකථනයේ මෘදුකාංග යාවත්කාලීන කිරීමට ඇති හැකියාව එහි ආයු කාලයට කෙසේ බලපානවා ද? මෙය විශේෂයෙන්ම සුහුරු දුරකථනවලට බලපානවා. දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය (operating system) හෝ වෙනත් ආරක්ෂක යාවත්කාලීන කිරීම් (security updates) කර ගැනීමට නොහැකි වුවහොත් එබඳු දුරකථනයක් මුදල් ගණුදෙනු ආදිය කිරීම සහ වෙනත් යම් යම් කටයුතු සඳහා ආරක්ෂාකාරී නොවන්න පුළුවන්. සමහර විට හැකරුන් දුරකථනයට ඇතුලු වී එහි දත්ත සොරා ගැනීම වැනි ක්‍රියා කරන්නත් පුළුවන්. තවත් විටෙක නව මෘදුකාංග ස්ථාපනය කර ගැනීමටත් බාධාවන් ඇතිවන්න පුළුවන්. සිය නව දුරකථන මාදිළි සඳහා වසර හතක පමණ කාලයක් මෘදුකාංග යාවත්කාලීන කරන දුරකථන නිෂ්පාදකයින් සිටිනවා. එසේ වුවත් සිය නව දුරකථන මාදිළිවලට වසරක කාලයක් වත් මෘදුකාංග යාවත්කාලීන කිරීම නොකරන නිෂ්පාදකයින් ද සිටිනවා. නිෂ්පාදකයින් යම් කාලයට පසුව පැරණි දුරකථන සඳහා මෘදුකාංග යාවත්කාලීන කිරීම නවත්වා දමන නිසා දුරකථනවල ආයු කාලය ප්‍රායෝගිකව ඉන් සීමා වෙනවා. මේ ආකාරයට දුරකථනයේ මෘදුකාංග යාවත්කාලීන කිරීමට ඇති හැකියාව එහි ආයු කාලයට බලපානවා.

තාක්ෂණයේ දියුණුව දුරකථනයක ආයු කාලයට කෙසේ බලපානවා ද? දිනෙන් දින දියුණු වන තාක්ෂණය නිසා පැරණි දුරකථනවල භාවිතා වන දෘඩාංග (hardware) නව මෘදුකාංග සඳහා ප්‍රමාණවත් නොවන අවස්ථා තිබෙනවා. උදාහරණයකට පැරණි දුරකථනයක ඇති සකසනය (processor) නව මෘදුකාංග සඳහා ප්‍රමාණවත් වේගයකින් ක්‍රියා නොකරනවා වන්න පුළුවන්. තවත් විටෙකදී දුරකථන භාවිතා කරන්නන් පැරණි දුරකථනවල පවතින ගුණාංගයන්ගේ උසස් තත්වයන් බලාපොරොත්තු වෙනවා. ඊට උදාහරණයක් නම් පැරණි දුරකථනවල භාවිතා කෙරෙන අඩු විභේදන (low resolution) කැමරා වෙනුවට අධි විභේදන (high resolution) කැමරා අඩංගු දුරකථන භාවිතා කරන්නට දුරකථන භාවිතා කරන්නන් නැඹුරු වීම. තවත් සමහර අවස්ථාවලදී පෙර දුරකථනවල නොතිබූ නවතම දෘඩාංග භාවිතා කරමින් නව හැකියාවන්ගෙන් යුත් දුරකථන නිපදවීම ද සිදුකෙරෙනවා. තාක්ෂණයේ මෙබඳු දියුණුවීම් සමඟ පැරණි දුරකථන වසර බොහෝ ගණනක් භාවිතා කිරීම ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු වෙනවා. සමහර විටෙක හොඳින් ක්‍රියා කරන දුරකථන වුවත් නව තාක්ෂණය භාවිතා කරන්නට සිදුවීම නිසා අහක දමන්නට සිදුවෙනවා.

ඉහත විස්තර කළ හේතු නිසා ජංගම දුරකථනයක් සාමාන්‍යයෙන් අවුරුදු තුනක් පමණ භාවිතා කළ හැකි බව බලාපොරොත්තු වන්න පුළුවන්. එසේ වුවත් සමහරු සිය දුරකථන අවුරුදු දහයක් පමණ හෝ ඊටත් වඩා වැඩි කාලයක් භාවිතා කරනවා යැයි කීවොත් එය සිදු නොවිය හැකි දෙයක් නොවෙයි. එවන් අවස්ථාවන්හිදී නව මෘදුකාංග ස්ථාපනය කිරීමට නොහැකි වීම, බැටරිය මුල පැවති ධාරිතාවයට සම්පූර්ණයෙන් ආරෝපණය කරගැනීමට නොහැකි වීම ආදී ප්‍රායෝගික දුෂ්කරතාවයන් ඇතිවෙනවා. එසේ වුවත් දුරකථනය බෙහෙවින්ම පැරණි වූ පමණින් දුරකථන පණිවිඩ ගැනීම, කෙටි පණිවිඩ යැවීම ආදියට නම් බාධාවන් සාමාන්‍යයෙන් ඇති වන්නේ නැහැ. සීමිත පිරිසක් ඉන් සෑහීමට පත් වූවත් බොහෝ දෙනෙකුට එබඳු සීමිත කටයුතු සඳහා දුරකථනයක් භාවිතා කිරීම ප්‍රායෝගික වන්නේ නැහැ. එබැවින් නව දුරකථයක් මිල දී ගැනීමේදී එය සාමාන්‍යයෙන් අවුරුදු තුනක පමණ කාලයක් භාවිතා කිරීමට බලාපොරොත්තු වීම බොහෝ දෙනෙකුට වඩාත් ප්‍රායෝගිකයි.