අකුණු ගසන විට දුරකථන භාවිතය සුදුසු ද?

Submitted by admin on

අකුණු ගසන විට දුරකථනය භාවිතා කරන්න සිදුවුවහොත් දුරකථනය භාවිතා කරන්නාට අකුණු වැදීමේ අවදානමක් තිබෙනවා ද? මෙය දුරකථනය භාවිතා කරන්නා ඉන්න ස්ථානය, දුරකථන වර්ගය සහ භාවිතා කරන ආකාරය අනුව තීරණය වෙනවා.

අකුණු ගසන විට එළිමහනේ සිටීම අකුණු වැදීමේ අවදානමක් ඇති ක්‍රියාවක්. එබැවින් අකුණු ගසන විට දුරකථනයක් භාවිතා කළත් නොකළත් එළිමහනේ සිටීම සුදුසු නැහැ.

ගොඩනැගිල්ලක් තුළට සාමාන්‍යයෙන් අකුණු වදින්නේ නැහැ. එසේ වුවත් ගොඩනැගිල්ල පිටත ඇති දුරකථන රැහැන්, ඇන්ටෙනා, විදුලි රැහැන් ආදියට අකුණු වැදී අකුණ නිසා හටගන්නා අධිවෝල්ටීයතාවය වයර් හරහා ගොඩනැගිල්ලක් තුළ භාවිතා වන උපකරණ වෙත පැමිණෙන්න පුළුවන්.

දුරකථන කුළුණුවලට රැහැන් මගින් සම්බන්ධවන දුරකථනයක් යම් ගොඩනැගිල්ලක් තුළ පවතී නම් එවන් දුරකථන භාවිතය අකුණු ගසන විට නොකළ යුතු ක්‍රියාවක්. ඒ ගොඩනැගිල්ලට පිට ඇති දුරකථන රැහැන්වලට අකුණු වැදී එම රැහැන් දිගේ ගොඩනැගිල්ල තුළ ඇති දුරකථනයට අකුණ නිසා හටගන්නා අධිවිදුලිය පැමිණ දුරකථනය භාවිතා කරන්නෙකුට විදුලි සැර වදින්න හැකි නිසා.

රැහැන් මගින් සම්බන්ධවන දුරකථන සම්බන්ධතාවයක් පැවතියත් ඒ සමඟ යම් ගොඩනැගිල්ලක් තුළ භාවිතා වන්නේ කෝඩ්ලස් ෆෝන් එකක් නම් දුරකථන රැහැන් සම්බන්ධ වන්නේ කෝඩ්ලස් ෆෝන් එකේ බේස් ස්ටේෂන් එකට. බේස් ස්ටේෂන් එකේ සිට අතේ තියාගෙන කථාකරන හෑන්ඩ් සෙට් එකට වයර් සම්බන්ධ නොවන නිසා අකුණු වැදීමකදී බේස් ස්ටේෂන් එකට හානි වෙන්න හැකියාව පැවතියත් හෑන්ඩ් සෙට් එක වෙන්ව පවතින විට හෑන්ඩ් සෙට් එකට අකුණ නිසා හටගන්නා විදුලිය පැමිණෙන්නේ නැහැ. එබැවින් එවන් දුරකථනයක හෑන්ඩ් සෙට් එක බේස් ස්ටේෂන් එකෙන් වෙන්කර භාවිතා කිරීමේදී භාවිතා කරන්නාට අකුණු සැර වැදීමේ හැකියාවක් නැහැ. එහෙත් හෑන්ඩ් සෙට් එක බේස් ස්ටේෂන් එකෙන් වෙන්කරගන්න අවස්ථාව සහ බේස් ස්ටේෂන් එකට සම්බන්ධ කරන අවස්ථාව නම් අවදානම් සහිතයි.

අකුණු ගසන විට CDMA ෆෝන් වැනි රැහැන් රහිත දුරකථන භාවිතයත් සුදුසු නැහැ. ඒ එවන් ෆෝන් ක්‍රියා කරන්න ලබා දෙන විදුලි සැපයුම පාරේ යන විදුලි රැහැන්වලින් ලබාගත් විදුලි සැපයුමක් නම් එම විදුලි රැහැන් හරහා CDMA ෆෝන් එකට පිටත ඇති විදුලි රැහැනකට වදින අකුණක් නිසා හටගන්නා අධි වෝල්ටීයතාවයකින් යුත් විදුලිය පැමිණිය හැකි නිසා. CDMA ෆෝන් එකක් ගොඩනැගිල්ලකින් පිටත ඇති ඇන්ටෙනාවක් සමඟ භාවිතා කරන විටත් ඇන්ටෙනාවට වදින අකුණු සැර CDMA ෆෝන් එකට පැමිණ එම ෆෝන් එක භාවිතා කරන්නාට විදුලි සැර වදින්න හැකියාවක් පවතිනවා.

අකුණු ගසන විට ගොඩනැගිල්ලක් තුළ ජංගම දුරකථනයක් භාවිතා කිරීම ගැන සලකා බලමු. එම දුරකථනයේ බැටරි ආරෝපණය නොකෙරෙන විටෙක දී ගොඩනැගිල්ලේ පිටතට වදින අකුණක් දුරකථනය වෙත පැමිණෙන්න ගොඩනැගිල්ලේ පිටත සිට ජංගම දුරකථනය තෙක් විදුලිය සන්නයන කෙරෙන මාධ්‍යයක් ඇත්තේ නැහැ. එබැවින් ජංගම දුරකථනයක් ආරෝපණය නොකෙරෙන විටකදී සාමාන්‍ය ලෙස භාවිතා කිරීම අකුණු වදින්න හේතු වන කාරණාවක් නොවෙයි. එබැවින් එහි ඇති අවදානමක් නැහැ.

අකුණු ගසන විට ගොඩනැගිල්ලක් තුළ ජංගම දුරකථනයක චාජරය විදුලි පේනුවකට (plug) සවිකොට දුරකථනයේ බැටරිය ආරෝපණය කරන විටෙක නම් දුරකථනය භාවිතා කරන්නෙකුට අකුණු සැර වදින්න හැකියාවක් පවතිනවා. ඒ ගොඩනැගිල්ලෙන් පිටතට වැදුනු අකුණක් නිසා විදුලි සැපයුමේ හටගන්නා අධිවෝල්ටීයතාවය විදුලි පේනුව තුළින් ජංගම දුරකථනය වෙත පැමිණිය හැකි නිසා. වෙනත් විදුලිමය සම්බන්ධතාවයන් නොමැතිව පවර් බෑන්ක් එකක් භාවිතයෙන් ජංගම දුරකථනයේ බැටරිය ආරෝපණය කිරීමේ දී ත් අනතුරක් සිදුවන්න ඇති ඉඩක් නැහැ.

ජංගම දුරකථනවලට අන් උපාංග සම්බන්ධ කොට භාවිතා කිරීමේදීත් ගොඩනැගිල්ලක පිටතට වදින අකුණක් නිසා හටගන්නා අධිවෝල්ටීයතා විදුලිය යම් ක්‍රමයකින් එම උපාංග හරහා දුරකථනය වෙත පැමිණේ දැයි විමසා බලා එසේ නොවේ යැයි තහවුරු කරගැනීමට හැකි අවස්ථාවන්හිදී දුරකථනය භාවිතා කරන්න පුළුවන්.

අන් උපාංගයක් සම්බන්ධ කොට භාවිතා කිරීමේදී අකුණු සැර වැදීමේ අවදානමක් සහිත අවස්ථාවකට උදාහරණයක් නම් ජංගම දුරකථනය ගොඩනැගිල්ලේ ප්‍රධාන විදුලියෙන් ක්‍රියාත්මක වන බෆල් එකකට සවි කොට භාවිතා කිරීම.

අන් උපාංගයක් සම්බන්ධ කොට භාවිතා කිරීමේදී අකුණු සැර වැදීමේ අවදානමක් නොමැති අවස්ථාවකට උදාහරණයක් නම් ජංගම දුරකථනය ඉයර් ෆෝන් සමඟ භාවිතා කිරීම.

ජංගම දුරකථනවලට අකුණු ඇදගන්නවා යැයි කියා දෙයක් නැහැ. අනතුරු සිදුවන්න අකුණු වදින ස්ථානයක සිට ජංගම දුරකථනය තෙක් විදුලි සන්නයන මාධ්‍යයක් පවතින්න ඕනෑ.